ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 2022 වාර්ෂික ඇසළ මංගල්‍ය පූජෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහර 70 වැනි වරටත් අගෝස්තු මස 27 වන සෙනසුරාදා රාත්‍රියේදී ඉතා රමණීය අන්දමින් වීථි සංචාරය කෙරිණි.

සම්ප්‍රදායානුකූලව සුබ මුහුර්තයෙන් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව වැඩමකර හස්තිරාජයා පිට බැඳි ධාතු කරඬුවේ තැන්පත් කිරීම බෙල්ලන්විල රාජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් විසින් සිදුකළේය.

බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ සහ බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී බොරලැස්ගමුවේ පේමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල රාජ මහා විහාරයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ හා විහාරස්ථාන දායක සභාව විසින් පෙරහැර සංවිධානය කර තිබිණි. පෙරහැර නැරඹීම සඳහා මහා සංඝරත්නය ඇතුළු දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස සිටින ආකාරයද දැක ගන්නට ලැබිණි.

ඉන් අනතුරුව පුරාණ චාරිත්‍රානුකූලව අගෝස්තු මස 28 වන ඉරුදින උදෑසන විහාරස්ථානයේ සිට පෙරහැරින් ගමන් කර වේරැස්ගඟ කටුඇල තොටුපළේ පැවැති දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සන්ධ්‍යාවේ විහාරස්ථාන භූමියේ පැවැත්වූ දේව දානය පූජා කිරීමේ චාරිත්‍රයෙන් පසුව මෙවර බෙල්ලන්විල ඇසළ පූජෝත්සවයේ වැඩ කටයුතු නිමාවට පත් කළ බව පෙරහැර කමිටුව පැවසීය.

Leave a Reply

Your email address will not be published.