හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා තලවතුගොඩ මොනැෂ් අවන්හලේ පැවැති සාදයට දේශපාලඥයන්ගෙන් අඩුවක් නොවුණ බව වාර්තා වේ.

රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ශාන් විජේලාල්, වීරසුමන වීරසිංහ, මනුෂ නානායක්කාර මෙන්ම හිටපු අමාත්‍ය පියසේන ගමගේ මෙසේ මේ සාදයට පැමිණි දේශපාලන ප්‍රබලයෝ වෙති.

ඊට අමතරව මෙහි වැඩියෙන් දැක ගැනීමට හැකිව ඇත්තේ කලාකරුවන් හා මාධ්‍යවේදීන්ය.

කෙසේවුවද, වෙනදා සුමනදාසගේ ඕනෑම වැඩක අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන රාජපක්ෂ පවුලේ කිසිවකුත් මේ උත්සවය සඳහා සහභාගී වී නොසිටීමය.

සනත් ගුණතිලක, ලතා වල්පොල, අමිත් වල්පොල වැනි කලාකරුවන් ද ඔහුගේ සාදයේ සිට තිබේ.

මෙහිදී ලතා වල්පොල හා අමිත් වල්පොල ගී ගයමින් පැමිණි සිටි පිරිස කුල්මත් කිරීමට අමතක නොකළ බව පැවසේ.

මෙහිදී අභිනවයෙන් අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර කළ අපූරු කතාවක් ගැනද වාර්තා වේ.

ඔහු එහිදී මෙසේ පවසා තිබේ.
‘‘ මම ජීවිතේ හැමදාම තීන්දු තීරණ ගත්තේ මේ සුමනදාස මහත්තයාගෙන් අහලා. මට එතුමා කී දෙයක් කිසිදාක වැරදුණේ නෑ. හැබැයි මේ සැරේ මේ ඇමැති පට්ටම ගන්න තීන්දුව ගන්නකොට නම් එයාගෙන් ඇහුවේ නෑ. ඒ නිසා මේ ගත්ත තීන්දුව හරිද වැරදිද කියලා දැම්ම කියන්න බෑ. මම මේ කල් ඇතුව කියන්නේ මේ තීන්දුවේ ප්‍රතිඵල ආවම, මේ ගත්තු තීන්දුව වැරදුණොත් එතුමාට කට්ටිය දෝෂාරෝපණය කරාවි, මහින්ද රාජපක්ෂ මහත්තයලා ඡන්දේ පැරදුණාම චෝදනා කළා වගේ. අන්න ඒ චෝදනාවෙන් සුමනදාස මහත්තයා නිදහස් කරන්න තමයි මම කලින්ම මේක කියන්නේ”

ඔහුගේ මේ කතාවෙන් පසුව එහි සිටි සිනා නොවුණ අයෙක් නැතැයි ද පැවසේ.

Leave a Reply

Your email address will not be published.