ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස තේරී පත් වූ පුවත මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙනවා. ආදිවාසී ප්‍රජාවකින් දේශපාලනයට පිවිස රටේ ඉහළ ම තනතුරට පත් ප්‍රථම පුද්ගලයා ඇය වීම ඊට හේතුව යි. ඉන්දියාව තුළ සමාජීය ආකල්ප ක්‍රමයෙන් ප්‍රගතිශීලි වන අන්දමේ තීන්දු තීරණ කිහිපයක් පසුගිය කාලයේ ගැනුණා. ද්‍රෞපදි මුර්මු ගේ ජයග්‍රහණය එහි තවත් එක් පියවරක් ලෙස හැඳින්විය හැකි යි.

64 හැවිරිදි මුර්මුගේ නම ජනපති ධූරය සඳහා යෝජනා කළේ නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය යි. භාරතීය ජනතා පක්ෂය නායකත්වය ලබා දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ඇය මැතිවරණයට ඉදිරිපත් වුණා. මුර්මුගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වූයේ යෂ්වන්ත් සිංහා යි.

ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස සලකන නමුත්, විධායක බලතල ක්‍රියාත්මක කිරීමක් සිදු කරන්නේ නැහැ. ඉන්දීය ජනපති තෝරාපත් කරගන්නේ ජනතා නියෝජිතයන් එක්ව යි. පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල ද්විත්වය, ෆෙඩරල් පරිපාලනය පවතින බල ප්‍රදේශ සහ ප්‍රාන්ත නියෝජනය කරන සාමාජිකයන් ගේ ඡන්දයෙන් එම තෝරා පත්කර ගැනීම සිදු කරනවා. මුර්මු ඉතා පහසු ජයග්‍රහණයක් යෂ්වන්ත් සිංහාට එරෙහි ව වාර්තා කළා. ඇය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 60% කට අධික යි.

මුර්මු සමඟ සටනට පිවිසි යෂ්වන්ත් සිංහා, 1990 දශකයේ සහ 2000 න් ඇරඹුණු දශකයේ මුල් භාගය තුළ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ දේශපාලනඥයෙක්. ඔහු එවකට අගමැති අතල් බිහාරි වජ්පායි යටතේ අමාත්‍ය ධූර දැරුවා. ඔහු දැන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ දැඩි විවේචකයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.

භාරතීය ජනතා පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන අනෙකුත් දේශපාලන කණ්ඩායම් තමාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකත්වය ගැන පුළුල් සාකච්ඡා පවත්වා තිබෙනවා. එහි දී ඔවුන් සුදුසු අපේක්ෂකයන් 20 ක් පමණ සලකා බැලූ අතර, අවසානයේ දී ද්‍රෞපදි මුර්මු අපේක්ෂකත්වය සඳහා සුදුසු බව තීරණය වුණා.

ඔඩීෂා හි ගුරුවරියක ලෙස සේවය කළ මුර්මු, ඉන්පසු සැලකිය යුතු ආදීවාසි ජනගහනයක් සිටින ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙසත් කටයුතු කළා. භාරතීය ජනතා පක්ෂය තුළ ඇය ගේ නියෝජනය ආරම්භයේ පටන් ම බොහොම සුවිශේෂී එකක් වුණා. සමාජීය සහ ආර්ථික වශයෙන් අවාසි සගහත වාතාවරණයකට මුහුණ දී සිටින ආදිවාසී ගෝත්‍ර නියෝජනය කිරීමෙහි ලා මුර්මු පක්ෂයේ සංකේතයක් වීම ඊට හේතුව යි. ඇය ඉන්දියාවේ විශාලත ම ගෝත්‍රික කණ්ඩායම්වලින් එකක් වන සන්තාල් ප්‍රජාවට අයත් වෙනවා.

ද්‍රෞපදි මුර්මු උපත ලබන්නේ 1958 ජුනි මස 20 වැනිදා යි. ඇය ගේ පියා මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ බයිදාපෝසි ගම්මානයේ ගම් සභා ප්‍රධානියෙක් ලෙස සැලකුම් ලැබූ පුද්ගලයෙක්. කුඩා කල පටන් ම ඉගෙනීමට ඇති කැමැත්ත නිසා මුර්මු ගම්මානයට ආදර්ශයක් වුණා. ඇය උපන් ගම්මානයේ මිනිසුන් අධ්‍යාපනය ගැන සැලකිල්ලක් නොදැක්වූ තරම්. අවශ්‍යතාවක් තිබුණත්, ආර්ථික දුෂ්කරතා ඔවුන් ගේ සීමාකාරී සාධකය ලෙස නිරතුරුව ම නැඟී සිටියා. විද්‍යාලයක ඉගෙනුම ලැබූ ගම්මානයේ පළමු දැරිය ද්‍රෞපදි මුර්මු වීම ඊට කදිම උදාහරණයක්.

මූලික ධ්‍යාපන පහසුකම්වත් නැති ඇයගේ ගම්මානයට උසස් අධ්‍යාපන අවස්ථා යනු සිහිනයක් ම පමණ යි. තරුණ මුර්මු උත්සාහය අතහැරියේ නැහැ. ඒ වෙනුවෙන් ඇය හරි අපූරු දෙයක් සිදු කළා. 1980 සිට මුර්මු හඳුනන මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාකාරියෙක් වන නිගමනන්ද පට්නායික්, ඒ අවස්ථාව සිහිපත් කළේ මේ ආකාරයෙන්.

“වරෙක ඔඩීෂා හි රාජ්‍ය අමාත්‍යවරයෙකු වන කාර්තික් මාජි රයිරන්ග්පූර් නගරයට ආවා. මේ අවස්ථාවට සහභාගි වෙන්න මුර්මු ගේ පියා ඇයත් රැගෙන ඒ නගරයට පිටත් වෙලා තිබුණා. හදිසියේම ඇය තම පාසල් සහතිකය වනමින් අමාත්‍යවරයා සිටින වේදිකාවට ගොඩ වෙන්න උත්සහ කළා. ඇයට අවශ්‍ය වුණේ ඉතිරි අධ්‍යාපන කටයුතු භුබනේෂ්වර් ප්‍රදේශයේ සිදු කිරීමට යි.”

කුඩා දැරිය ගේ උද්‍යෝගය හමුවේ අමාත්‍යාවරයා කොතරම් පැහැදුණාද කිවහොත්, මුර්මුට ප්‍රාන්ත අගනුවර රජයේ පාසලක ස්ථානයක් ලබා ගැනීමට උදව් කරන ලෙස සිය කාර්ය මණ්ඩලයට නියෝග කළා

ද්‍රෞපදි මුර්මු භුබනේස්වර් හි රාමදේවි කාන්තා විද්‍යාලයෙන් (2015 පටන් මෙම ආයතනය විශ්ව විද්‍යාලයක් දක්වා උසස් කළා.) සිය අධ්‍යාපන කටයුතු හමාර කළ අතර, ඉන්පසු ඔඩීෂා ප්‍රාන්ත රජයේ ලිපිකාරිණියක ලෙස සේවය කළා. නැවත සිය උපන් ප්‍රදේශයට සංක්‍රමණය වූ මුර්මු, වඩාත් ආසන්න නගරය වන රයිරංග්පූර් හි ගුරුවරියක් ලෙස සේවයට බැඳුණා.

“නමුත්, ඇය වැටුප ප්‍රතික්ෂේප කළා. පාසල ඇයට ගෙව්වේ රික්ෂෝ ගාස්තුව පමණ යි. මෙය රැකියාවක් නොව රාජ්‍ය සේවයක් ලෙසින් තමයි ඇය සැලකුවේ. බැංකු නිලධාරියෙක් වන තම සැමියා ගේ වැටුප පවුලේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් බව ඇය පැවසුවා.”

ඇය හොඳින් හඳුනන නිගමනන්ද පට්නායික් යළිත් ඒ අතීතය සිහිපත් කළා.

මුර්මු ගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ 1997 දී රයිරන්ග්පූර් හි ප්‍රාදේශීය මැතිවරණයෙන් මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමෙන් පසුව යි. ඇය බොහෝ විට නගරයේ සනීපාරක්ෂක කටයුතු පෞද්ගලික ව අධීක්ෂණය කළ අතර, කාණු පිරිසුදු කරමින් කසළ ඉවත් කරන විට දැඩි හිරු රශ්මිය මධ්‍යයේ ම සිටගෙන ඇය ඒවා නීරික්ෂණය කරන අයුරු සාමාන්‍ය සිදුවීමක් වුණා. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක් ලෙස ඇය දෙවරක් රයිරංග්පූර් ආසනයෙන් ප්‍රාන්ත සභාවට තේරී පත් වීමට සමත් වුණා. ඒ පිළිවෙළින් 2000 සහ 2009 යන වසර වලදී යි.

2000 සිට 2004 දක්වා නවීන් පට්නායි ගේ නායකත්වයෙන් යුතු ප්‍රාන්ත සභාග ආණ්ඩුවේ ඇමතිවරියක් ලෙස උසස් වීමට ඇය වරම් ලැබුවා. ආරම්භයේ දී වාණිජ සහ ප්‍රවාහන කටයුතු භාරව සිටි මුර්මු, පසුව ධීවර සහ සත්ත්ව සම්පත් අමාත්‍යාංශය භාර ව කටයුතු කළා. 2006 සිට 2009 දක්වා ඇය භාරතීය ජනතා පක්ෂයේ “උපලේඛනගත ගෝත්‍ර” සඳහා වන රාජ්‍ය අංශයේ සභාපතීත්වය දැරුවා. ඉන්දීය ව්‍යවස්ථාව මඟින් සමාජීය සහ ආර්ථික වශයෙන් අවාසිදායක ඉරණමක් අත් වූ ප්‍රජාවන් ලෙස මෙම ගෝත්‍ර හඳුනා ගෙන තිබූ නිසා මුර්මුට සිය සමාජ සේවාව තව දුරටත් පුළුල් කිරීමට හැකි වුණා.

ඇය ගේ දේශපාලන ජීවිතය කුණාටුවලින් තොරව ගමන් කළත්, පෞද්ගලික ජීවිතයට එවැනි සාමකාමී බවක් උරුම වුණේ නැහැ. 2009 දී ඇය ගේ වැඩිමහල් පුත්‍රයා නොපැහැදිලි හේතුවක් මත මිය ගිය අතර, වසර කිහිපයක් ඇතුළත දෙවැනි පුත්‍රයා සහ සිය සැමියාත් මුර්මුට අහිමි වුණා.

කාලයත් සමඟ ඇය නැවත ශක්තිමත් වුණා. දේශපාලන ප්‍රවාහය තුළ තමාට ඉතිරි වී ඇති දුර ගමන් කිරීමට ඇය තීරණය කළේ ඒ නිසා යි. 2015 දී ඔඩීෂා හි අසල්වැසි ප්‍රාන්තයක් වන ජාර්කන්ඩ් හි ආණ්ඩුකාරවරිය ලෙස ද්‍රෞපතී මුර්මු පත් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. 2021 ජූලි දක්වා ඇය එම තනතුරේ කටයුතු කළා.

ආණ්ඩුකාර ධූරය දැරූ කාලය තුළ සිය කාර්යාලය සියලු තරාතිරම්වල පුද්ගලයන්ට විවෘත ව තබා ගැනීම නිසා ඇය පැසසුමට ලක් වුණා. අවස්ථා කිහිපයක දී තනතුරට අදාළ රාජ්‍යතාන්ත්‍රික නීති සමුදාය කඩ කිරීම සම්බන්ධයෙනුත් මුර්මු පුවත් මවන චරිතයක් බවට පත් වුණා.

විටෙක ඇය දූත පිරිසක් සමඟ දුම්රිය අමාත්‍යවරයා හමු වීමට ගියේ තමා උපන් දිස්ත්‍රික්කය වන මයුර්බන්ජ් හි දුම්රිය සේවා පුළුල් කර ගැනීම සඳහා යි. මෙවැනි ක්‍රියා රාජ්‍යතාන්ත්‍රික නීති සමුදායට පටහැනි ලෙස සැලකුවත්, ඇය ඒවා එතරම් ගණන් ගත්තේ නැහැ. ක්‍රියාත්මක විය යුතු තැන ඇය කෙසේ හෝ ක්‍රියාත්මක වීමේ මඟක් සෙව්වා.

කරුණු කාරණා එසේ වුව ද කලාපයේ වඩාත් නිදහස් මත දරන සමාජයක් කරා ගමන් කිරීමේ අභිලාෂයක් ඇති රටක් ලෙස ඉන්දියාව සැලකිය හැකි යි. ඔවුන් ගේ අධිකරණ පද්ධතියෙන් සහ සිනමාවෙන් ඊට මහත් රුකුලක් සැපයෙමින් තිබෙනවා. එවැනි සන්දර්භයක් මැද භාරතීය ජනතා පක්ෂය ඉතා ප්‍රවේශමෙන් තම දේශපාලන අනාගතය ගැනත් සිතමින් සිටිනවා විය හැකි යි.

  • ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරුනි

Leave a Reply

Your email address will not be published.