රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කෑගල්ල මහ අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධියට අදාළව කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර තිබිණි.
ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා රඹුක්කන ජනයා අප්‍රේල් 19 වන දා රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම් හල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ විරෝධතාවක් පවත්වමින් සිටියදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම්කාරි තත්ත්වයක් හට ගැනිණි.
පසුව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයකට අනුව, පොලිස් නිලධාරීන් තිදෙනෙකු විරෝධතාවේ නියැළී සිටි පිරිස වෙත වෙඩි තැබීමක් කර තිබිණි.
එම වෙඩි තැබීමෙන් රඹුක්කන, හිරිවඩුන්න, නාරංබැද්ද, කරදගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි කේ.ඩී. චමින්ද ලක්ෂාන් නමැති 42 හැවිරිදි දෙදරු පියා ජීවිතක්ෂයට පත් වී තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි.