යල කන්නයට නිසි මොහොතේ රසායනික පොහොර නොදී කයිවාරු ගසන ගෝඨා – රනිල් දෙපළ, ඉදිරියේ දී මතුවන ආහාර අර්බුදයට දෙන විසඳුම කුමක්දැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විමසනවා.

විශේෂයෙන්ම ඉදිරි ආහාර අර්බුදයක් මතුවේදැයි දැඩි බියකින් හා සංවේදීතාවකින් මහජනතාව පසුවන බවයි ඔහු කියන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවක් කරගනිමින් ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය පිළිබඳව ගනු ලැබූ වැරදි තීන්දු හේතුවෙන් ආහාර හිඟයක් මතුවීමේ තත්ත්වයට අද රට පැහැදිලිව මුහුණ දී තිබෙන බව මන්ත්‍රීවරයා පවසනවා.

අර්බුදය සඳහා නිවැරදි විසඳුම් සොයමින් ආහාර නිෂ්පාදනය සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති නිසා දැන් යලිත් සුපුරුදු වගකීම් විරහිත විවිධ නන්දෙඩවීම් කරමින් ආණ්ඩුවේ වගකිවයුත්තන් කටයුතු කරණ බවයි අනුර දිසානායක මහතා කියන්නේ.

එසේ කිරීම නිසා දිගින් දිගටම රටට අත්වෙන්නේ ඛේදවාචකයක් බවත් මන්ත්‍රිවරයා පවසනවා.

“යල කන්නය ආරම්භ වී සැලකිය යුතු කාලයක් ගෙවිලා. කෝ අවශ්‍ය රසායනික පොහොර ටික. කෝ අවශ්‍ය කරන පළිබෝධනාශක ටික. කෝ අවශ්‍යකරන අනෙකුත් කෘෂි යෙදවුම්. ඒවා ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකිරීම පමණක් නෙමෙයි

දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන්ටද ඔවුන්ගෙන් මිලට ගත් පොහොරවල මුදල්වත් ලබා දීමටද ආණ්ඩුව කටයුතු කරලා නැහැ.

මේ අසමත්කම පෙන්නුම් කරන්නේ රට මුහුණ දී තිබෙන අර්බුදය පිළිබඳ නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට මේ ගෝඨා – රනිල් හවුල් ආණ්ඩුවේ අසමත්කම.

ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු සංවේදිතාවක් නැතිකම.ජනාධිපතිවරයා ‘හේතු එපා වගාකරන්න’ කියනවා. අගමැතිවරයා ‘මඤ්‍ඤොක්කා හිටවන්න’ කියනවා.

කෘෂිකර්ම ඇමැති ‘රක්ෂිතවල කොස් කන්න’ කියනවා.

ඒ අතරේ අගමැතිවරයා කියනවා අපි දවසකට කන්න ඕන වේල් ගාන. අපි දවසට කන කෑම වේල් ගාන තීරණය කරන්න රටකට අගමැති කෙනෙක් ඕනෙද. අපි කියන්නේ මේ විකාර නන්දෙඩවිලි නවත්තලා අඩුම තරමින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය මූලික යෙදවුම් ටික හෝ ලබා දෙන්න.

හැබැයි තාමත් මේ පාලකයෝ ඒකට අසමත් වී ඇති බවයි පේන්නේ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

Leave a Reply

Your email address will not be published.