සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එසේ නොමැති වුවහොත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් බළාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් හා නිළධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මම වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩකරන කෙනෙක්. පළාත් සභාවේ ඉන්න කාලේ ඉදලම කිසිම දවසක වෘත්තීය සමිති සමඟ ගැටුම් ඇති කරගත්තේ නැහැ. විරුද්ධ පාක්ෂිකයන්ගෙන් පළිගන්නේ නැහැ. මම හැමදාම හිටියේ වැඩකරන මිනිහගෙ පැත්තෙයි.

මේ රාජ්‍ය ආයතන බොහෝමයක් අද පාඩු ලබන තත්ත්වයට පත්වෙලා. ඒක නිසා ඇතැම් රාජ්‍ය ආයතන වැසෙන තත්ත්වයටම පත්වෙලා. මේ ආයතන වැසිල ගියොත් විශාල පිරිසකට රැකියා අහිමිවෙනවා. ඒක නිසා අපි හැම තිස්සෙම බලන්න ඕන ආයතනය ආරක්ෂාකර ගනිමින් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න. ඒ වගේම මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නෙ නැතිව තමන්ම ආදායම් උපද්දවා ගන්නා ආකාරය ගැනත් අපි හිතන්න ඕන. මේ වනවිට රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීල ඉන්නෙ. අපිට ඩොලර් හිඟයක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්න අපිට බැහැ.

Leave a Reply

Your email address will not be published.