“තුන්වේල කන්නවත් විදිහක් නැහැ. උයාගන්න ගෑස් නැහැ. පොඩි දරුවට කිරිපිටි පැකට් එකක් ගන්න විදිහක් නැහැ. ත්‍රීවිල් එකට තෙල් ටික ගහන්න තෙල් නැහැ. මෙන්න මේ පීඩනය දරාගන්න බැරිව තමයි මගේ රත්තරං පුතා ඔය කොළඹ අරගලයට ගියේ. අනේ මගේ පුතාට වෙච්ච දෙයක්… “

යැයි පෙරේදා (13) කොළඹ පැවැති විරෝධතාව අතරතුර හදිසියේ රෝගාතුව මියගිය එක්දරු පියාගේ පියා වන මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක දිසානායක මහතා දැඩි කම්පනයෙන් යුතුව කොළඹ ජාතික රෝහලේ සිට පැවසීය.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මහව, දළදාගම පදිංචිව සිටි ඩී. එම්. ජාලිය දිසානායක නමැති විසිහය හැවිරිදි එක්දරු පියෙකි.

ජාලිය මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුවකුද වන ඔහුට එක් වැඩිමහල් සොයුරියකද සිටියි.

ඔහු පෙරේදා (13 දා) කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැති විරෝධතාවට ගොස් සිටියදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව සිට ඇති අතර පසුව ඔහු රූපවාහිනි සංස්ථාව අසල පැවති විරෝධතාවට යමින් සිටියදී ඒ ආසන්නයේදී බිම ඇද වැටී ඇත.

පසුව එම ස්ථානයේ සිටි පිරිස ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්වී ඇත.

මෙහිදී තවදුරටත් කතා කළ මියගිය එක්දරු පියාගේ පියාණන් වන අසංක දිසානායක මහතා මෙසේද කීය.

මගේ පුතා ඉගෙන ගත්තේ මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ. පුතා විවාහකයි. කුලියට ඉන්නේ. පුංචි පුතෙක් ඉන්නවා.

ඔහු ත්‍රිරෝද රැකියාව කළේ. ඒත් මේ දවස්වල තෙල් ප්‍රශ්නය නිසා වැඩිපුරම හිටියේ තෙල්පෝලිම්වල. දවස් හතරපහ පෝලීම්වල ඉඳලා එනවා.

ඒ හින්දා එයාට හරියට හයර් එකක්වත් දුවාගන්න බැරිවුණා. පුතා ත්‍රීවිල් එක දුවලා කීයක් හරි හම්බකරලා තමයි දරු පවුල නඩත්තු කළේ. පුතා ගෑස් ප්‍රශ්නයෙනුත් බැටකෑවා.අනිත් එක තමයි එයා ජීවත් වුණේ කුලී ගෙදරක.

දරුවට කිරිපිටි පැකට් එකක් ගන්න කිරිපිටි නැහැ. ආදායම් මාර්ග සියල්ල නතර වෙනකොට එන පීඩනය මොන තරම්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මම මහව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්.

ඒ ප්‍රශ්න ගැටලු මටත් තියෙනවා. මට රටේ ජනතාව විඳින පීඩනය, දුක හොඳටම දැනෙනවා. අන්න ඒ පීඩනය දරාගන්න බැරුවයි පුතා කොළඹ අරගලයට ගිහින් තිබෙන්නේ.

රටේ ඉහළම පුටුවල ඉන්න ජනාධිපතිලට, අගමැතිලට ජනතාවගේ දුක පේන්නෙ නැහැ. ඒ අයට ඕන බලය විතරයි. රටේ අහිංසක ජනතාවගේ ජීවිත මේ විදියට මැරෙන එක දැන්වත් නතර වෙන්නෙ ඕනේ.

බලයට තියෙන කෑදරකම නිසා අද මගේ පුතා ජීවිතයෙන් වන්දි ගෙව්වා.

Leave a Reply

Your email address will not be published.