මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණි අවුරුදු 08 ක කුඩා පිරිමි දරුවෙක් පැහැරගෙන ගිය සැකකරු අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම පුද්ගලයා පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වන අතර මොහු දරුවා සමග දුම්රියෙන් අවිස්සාවේල්ල බලා යමින් සිටියදී ඔහුගේ සැක සහිත හැසිරීම මත දුම්රිය මගීන් සැකකරු අල්ලා මහරගම පොලිසියට බාර දී තිබුණා.

ඉන් අනතුරුව අද 06 දින සැකකරු සහ දරුවා මහනුවර මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ආ අතර පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ තමා මෙම දරුවාගේ මිත්තණිය දන්නා හඳුනන බවත් දරුවාට සෙල්ලම් බඩු රැගෙන දීම සඳහා ඔහු රැගෙන ගිය බවත්ය.

දරුවාගේ මිත්තණිය සහ මව කියා සිටියේ එම පුද්ගලයා කිසි දිනක දැක නොමැති බවයි.

මහනුවර පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මීට පෙරද කුඩා දරුවකු පැහැරගෙන යාමට උත්සාහයක් දරා ඇති පුද්ගලයකු බවයි.

සැකකරු මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මහනුවර මූලස්ථාන පොලිසිය මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දරුවා මහනුවර ජාතික රෝහල වෙත යොමු කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.