නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන ඉරිදා(15) දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරෙනු ඇත.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ද සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර ද දිවුරුම් දීමට නියමිත බව වාර්තාවෙි.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට නියමිතව ඇති හෙයින් ඔවුන් කළින්ම අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.

රට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අමාත්‍යධුර මුලින් පත් කර අනතුරුව සෙසු අමාත්‍යංශ පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.

නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.

කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published.