2/3ක අති බහුතර බලයක් සහිතව ප්‍රභල ජන ප්‍රසාදයකින් වසර 02කට වැඩි කාලයක් සිය බලය උපරිමයෙන් භාවිතා කල පාලක පක්ෂය මේ වනවිට බහුතරය තියා 113ක පාර්ලිමේන්තු බහුතරයත් අහිමි වී ඇත.

දිනෙන් දින ජනතාව අගාධයකට ඇද දමමින් ජනතා මුදලින් සුරසැප විඳි පාලකයින්ට අද පාරකට වත් බැසීමට නොහැකි වී ඇත.

මෑත ඉතිහාසයේ පළමු වරට පාලක පක්ෂයේ මැයි දින රැළියක් නොපැවැත්වීම ඊට කදිම උදාහරණයකි.

කපුටාට කියන ඉංග්‍රීසි වචනය වත් නොදන්නා මුදල් ඇමතිගේ උජාරු සහ උද්දච්ච කතා වලින්ම ජනතාව ප්‍රකෝපයට පත්විය.

තව දවස් තුනකින් ඉන්ධන ගැටළුව අවසන් වන බව කී පිං ඇමතිගේ කතා වලට තවත් ජනතාව කෝපයට පත් විය.

එකෙක්ව මරා පිහාටුවක් එල්ලා භය කරන්න ගිය ඇමතියා අද බිත්තර කටු සොයමින් සිටී.

මහ දවල් අමු අමුවේ මිනිස්සුන්ට වෙඩිතබා මරා දමද්දී මහජන ආරක්ෂකයා කීවේ එය අවම බලය කියාය.

සියල්ල එසේ සිදුවද්දී රට කරවන්නා “මේ අර්බුදය මා විසින් නිර්මාණය කල එකක් නොවේ” යැයි ජාතිය ඇමතීමෙන් මේ වනවිටත් ජනතාව ඔහුගේ ජාතිය අමතමින් සිටී.

ඉහත නොකී නම් 225තුල ඕනෑ තරම් ඇත. ඉන් අවංකම දේශපාලකයින් පිරිස අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුය.

සත්‍ය වශයෙන්ම මෙම අරගලය පාර්ලිමේන්තුවේ සිටින සහ පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තුවෙන් සිටින සියළු දේශපාලකයින්ට ජනතාව දුන් කණේ පහරකි.

කුමන බලයටත් වඩා ජනතා පරමාධිපත්‍යය ප්‍රභල බව ලොවට පෙන්නූ ජාතියක් ලෙස අරගලයේ නිරත සියළු ශ්‍රී ලාංකිකයින් පත්වනු ඇත.

දරුවන් වඩාගෙන කල හුරතල් වලට දැන් ජනතාව රැවටෙන්නේ නැත.

සිය ඇදහීම තිරුපතියට වෙන් කර ජනතාව ඉදිරියේ පන්සල් පල්ලි බදාගෙන සිටි නායකයින්ගේ නිරුවත දැන් හෙළිවෙමින් ඇත.

උස නම් සිකුරුටි මිටි නම් කම්කරු ලෙස ක්‍රීඩාංගනයක් මැද රැකියා බෙදූ නායකයින්ටත් දැන් අලුතින්ම සිතන්නට සිදුවනු ඇත.

එමෙන්ම, ආණ්ඩු බිහි කරන්න මුක්කු ගසා සිය ජනතා කැමැත්ත 3%කට බස්සවාගත් නායකයින්ටත් ඍජු ප්‍රතිපත්තියකින් වැඩ කිරීමට සිදුවනු ඇත.

මෙරට දේශපාලනය උඩුයටිකුරු කරමින් ජනතා අභිලාෂීන් ජනතාව විසින්ම උදා කර ගැනීමට දරන උත්සහයට JUST IN NEWS අපගේ උපරිම ශක්තිය සහ ධර්‍ය්‍ය ලබා දෙන්නෙමු.

Leave a Reply

Your email address will not be published.