ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තීරණාත්මක තරගයක් අද (06) ඩුබායි හිදී පැවැත්වෙයි.

ඒ තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමක සිටින ඉන්දීය කණ්ඩායම අතරය.

සුපිරි සිව්දෙනාගේ වටය ආරම්භ කරමින් සහභාගි වූ පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණි.

ඉන්දියාව සුපිරි සිව්දෙනාගේ වටයේ සහභාගි වූ පළමු තරගයේදී ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන පාකිස්තානය හමුවේ අමිහිරි පරාජයක් ලැබීය.

ඒ හේතුවෙන් ඉන්දියාවට තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා අද තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වනු ඇති.

යම් හෙයකින් ඉන්දියාව අද තරගය පරාජයට පත්වුවහොත් ඔවුන්ට අවසන් මහ තරගය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවනු ඇත.

එම නිසා ඉන්දියාව ඔවුන්ගේ ප්‍රබලතම කණ්ඩායම සමගින් වෙනස් සැලසුමකට අනුව අද තරගය සඳහා සහභාගී වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීමට සමත් වුවහොත් තරගාවලියේ අවසන් මහ තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට වැඩි අවස්ථාවක් හිමිවෙයි.

යම් හෙයකින් අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවත් පාකිස්තානය සමග එළඹෙන සිකුරාදා පැවැත්වෙන තරගයෙන් ජයගෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ.
 

Leave a Reply

Your email address will not be published.