නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක ඉදිරිපස මගී අසුනේ වාඩි වී මියගිය ප්‍රකට රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කර අදට (17) වසර 10ක් ගත වෙනවා.

ඔහුගේ ඝාතනය කළ සිරුර හමුවන්නේ 2012 මැයි 17 වෙනිදා යි. මගී ආසනයේ සිටිමින් පැයට කිලෝ මීටර් 170ක වේගයෙන් ධාවනය කළ බව කියන ඔහුගේ මෝටර් රථය අනතුරුව ගිනිගත් බවයි මුල් පරීක්ෂණ වලදී පවසා තිබුණේ.

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන් ඝාතනය වු ආසන්න දින දහයක් ඇතුළත එවකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශය මඟින් පවත්වාගෙන ගිය දෛනික රාජකාරි සටහන් ලේඛනයේ කොළ කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව එම සේනාවේ කොප්‍රල්වරුන් අටදෙනෙකු හා සැරයන්වරයකු රහස් පොලිසිය වෙත කැඳවා පසු කලෙක ප්‍රශ්න කළා.

කොප්‍රල් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ, කොප්‍රල් බ්‍රහනායක මුදියන්සේලාගේ ජයන්ත සේනාරත්න, කොප්‍රල් බුද්ධික කරුණාරත්න, සැරයන් වසන්ත රෝහණ, කොප්‍රල් ආර්. ඒ. පාලිත මහේෂ් පුෂ්ප කුමාර, කොප්‍රල් රංජිත් ප්‍රියන්ත කුමාර, කොප්‍රල් ඉන්දික සරත්, කොප්‍රල් පී. ජි. සනත් කුමාර හා කොප්‍රල් ආර්. රංජිත් දසනායක යන ගෙන් එලෙස ප්‍රකාශ ලබා ගෙන තිබුණා.

තාජුඩින් ‍ඝාතන සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ හිටපු ජනපති ආරක්ෂක අංශය මඟින් පවත්වාගෙන යනු ලබන ලේඛන තමන් භාරයට ගෙන විමර්ශන කිරීමේ දී දෛනික ආරක්ෂක රාජකාරී සම්බන්ධ සටහන් පවත්වාගෙන යන ලේඛනය‍ 2012/5/10 සිට 2012/5/22 කාලයේ එම ලේඛනයේ කොළ කිහිපයක් කඩා හෝ කපා ඉවත් කර ඇති බවත් එය පිටතට නොපෙනෙන ආකාරයට විනිවිද පෙනෙන සෙලෝටෙප් පටියක් දික්අතට අලවා දෙපස කොළ දෙක එකට අලවා ඇති බව නිරීක්ෂණය වු බවට සඳහන් වුවා.

තාජුඩීන්ගේ සිරුර සමබන්ධයෙන් වූ දෙවන පශ්චාත් මරණ පරික්ෂණයේ දී එම මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වී තිබුණා.

පළමු මරණ පර්රීක්ෂණය සිදුකර තිබුණේ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසිංහ යි.

ඝාතනයට අදාළ පළමු සැකකරු වූයේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේ‍රා යි. දෙවන සැකකරු වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යි.

#JustinNews www.justinnews.lk

Leave a Reply

Your email address will not be published.