අරගලය ජන නැගිටීම හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර ආරක්ෂක හේතූන් මත එම හෝටලයෙන් බැහැරව නොයන ලෙස එරට පොලිසිය ඔහුට උපදෙස් දී ඇති බව බැංකොක් පෝස්ට් පුවත් පත වාර්ථා කරනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 යානාවකින් රටින් පලාගොස් මාසයකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ කාලය ගත කළ හිටපු ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා (11) රාත්‍රී 8 ට පමණ Don Mueang ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් තායිලන්තයට පැමිණියා. බැංකොක් පෝස්ට් පුවත් පත වාර්ථා කරන ආකාරයට හිටපු ජනාධිපතිවරයාගේ ඇතුළු පිරිස් තායිලන්තයේ ෆුකෙට් ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණ ද අවසන් මොහොතේ දී යානය බැංකොක් වෙත හරවා යවා තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට ගොඩ බැසීමෙන් පසු තායිලන්ත පොලිසිය සහ හමුදා නිලධාරීන් විසින් ඔහු කැටුව යන ලද අතර මේ වන විට ඔහු රැඳී සිටින ස්ථානය හෙළි නො කළ හෝටලයේ ආරක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ බලකා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ රැඳී සිටින සම්පූර්ණ කාල සීමාව තුළ මෙම විශේෂ ආරක්ෂාව සපයා ඇති හෝටලය තුළ ම රැඳී සිටින ලෙසයි තායිලන්ත ආරක්ෂක බලධාරීන් උපදෙස් දී ඇත්තේ.
තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා බදාදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ට මානුෂීය හේතූන් මත තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන නමුත් ඔහු ට එරට තුළ දිගුකාලීනව රැඳී සිටීමට උපදෙස් නො දෙන බවයි. මේ අතර තායිලන්ත විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සතුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇති බැවින් ඔහුට දින 90 ක් දක්වා එහි රැඳී සිටිය හැකි බවයි.