පානදුර, මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට ඉකුත් 09 දා රාත්‍රි ගිනිතබා එහි තිබූ, මුදල්, රන් භාණ්ඩ සහ දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන්
සැකපිට අත්අඩංගුවට ගෙන පින්වත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් තිදෙනකු ඇතුළුව පුද්ගලයන් නව දෙනෙකු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා 17 දා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පානදුර කළුදෑවල, මැල්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
දෙවන සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මිණි පීරිස් මහත්මිය සිය සේවා දායකයා අත දරුවෙකු සමගින් සිටින බව අධිකරණයට කියා සිටීමෙන් පසු එම දරුවාට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළේය.
විත්තිය වෙනුවෙන් නීතිඥ අමිල නාවලගේ, සුගත් හදුන්ගේ ඩබ්ලිව්. ඩී. තිසේරා, ලක්මිණි පීරිස්, දුල්සිකා රණසිංහ, මලීසා අමරසේන සහ සොනාලි රත්නායක යන නීතිඥ මහත්ම මහත්මීන් හත් දෙනෙක් පෙනීසිටියහ.
පොලිසිය වෙනුවෙන් පින්වත්ත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර, උප පොලිස් පරීක්ෂක පෙරේරා සහ කොස්තාපල් අධිකාරී (59102) පෙනී සිටින ලදී.
අර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම
#justinnews