හැටන්, සමර්හිල් වතුයායේ තේ වත්තකදී මරණයට පත් වූ කදුකර කොටියාගේ මරණය සිදුවූ ආකාරය සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා. 

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත්ට අමාත්‍යවරයා විසින් එම උපදෙස් ලබාදී ඇති බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද හැටන් සමර්හිල් වතු යාය බලා පිටත් කර යැවීමට අමාත්‍යාංශ ලේකම්වරිය කටයුතු කර තිබෙනවා.

දඩයක්කරුවෙකුගේ මද්දකට හසුවී සිටි එම කදුකර කොටියා අසල තිබූ යුකැලිප්ටස් ගසකට නැග සිටියදී මද්ද එම සත්වයාගේ ඉන ප්‍රදේශයෙන් තද වී තිබෙනවා. එම සත්වයාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරා ගැනීමට අවස්ථාව තිබියදී වනජීවි නිලධාරීන් ගස කපා බිම හෙළීම නිසා ඊට යටවී එම කදුකර කොටියා මරණයට පත් වූ බවට ද මාධ්‍ය වාර්තා කර තිබුණා. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් අදාළ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා එම සත්වයා මරණයට පත් වූ බව සනාථ වන්නේ නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශය ලේකම්වරියට උපදෙස් දී ඇත්තේ ඒ අනුවයි.

මේ අතර මියගිය කදුකර කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.