දෛනිකව බෙදාහරින ගෑස් සිලින්ඩරවලින් 60%ක ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස ලිට්‍රෝ සමාගමේ කළමනාකාරීත්වයට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

අධික ජනඝනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ජීවත්වන ජනතාවට විකල්ප බලශක්තිය ප්‍රභවයන්ගේ සීමා සහිත බව ඇතුළු කරුණු කාරණා සළකා බලා ඉදිරි සතියක පමණ කාල සීමාව තුළ මෙලෙස බෙදා හැරීම සිදු කරන ලෙසයි කමිටුව උපදෙස් දී ඇත්තේ.

මේවන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 35 ක හිගයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් ද්විත්වයෙන් දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් මෙහිදී ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කලා.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීමට වෙන්කර ඇති ඩොලර් මිලියන 160 න් ලිට්‍රෝ සමාගමට ලැබෙන ඩොලර් මිලියන 120 ක මුදල යොදා ගෑස් මිලදී ගැනීමේ කටයුතු සදහා අවශ්‍ය පියවර ගන්නා බවත් එම මූලික කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු මාස තුනකට ගෑස් සැපයිය හැකි බවත් ලිට්‍රෝ සභාපතිවරයා මෙහිදී කියාසිටියා.

මේ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීම සදහා අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකර මෙම තදබදය අවම කිරීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නා.

පවතින අර්බුදකාරී තත්ත්වය තුළ ගෑස් පෝලිම් විශාල වශයෙන් ඇති බැවින් දෛනිකව ගෑස් බෙදා හැරීම සිදුවන ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා අදාළ තොරතුරු වෙබ් අඩවියේ සහ දුරකථන යෙදවුමක් මගින් පළ කිරීමට වහාම කටයුතු කරන ලෙසද මෙහිදී කෝප් සභාපතිවරයා ලිට්‍රෝ සමාගමට නිර්දේශ කලා.

මෙමගින් අදාළ අලෙවි නියෝජිතයා හරහා දෛනිකව කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් යම් දිනකදී ලැබෙනවාද යන්න පාරිභෝගිකයාට නිශ්චිත වශයෙන් දැනගැනීමට හැකියාව ලැබෙන බැවින් ගෑස් සිලින්ඩර අපේක්ෂාවෙන් මහජනතාව දිගු පෝලිම්වල රැදී සිටිමින් සිදුවන අපහසුතාව මගහරවා ගත හැකි බවද කමිටුව පෙන්වා දී තිබෙනවා.

ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යන විට මෙරට ගෑස් මිල ඉහල දැමුවද ලෝක වෙළදපොලේ එම මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගියාට නොලැබෙන බැවින් ගෑස් මිල සූත්‍රයක් හදුන්වා දීමේ අවශ්‍යතාව කමිටුවේදී සාකච්ඡා වුණා.

එය පාරිභෝගියාට වාසියක් සැලසීම සදහා මෙන්ම ගෑස් සමාගමේ පැවැත්මට ද අතිශය වැදගත් බැවින් කඩිනමින් මිල සූත්‍රයක් හදුන්වා දීමේ වැදගත්කම ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් ද පෙන්වා දෙනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published.