බොදු ජනතාවගේ හෙළ සංස්කෘතියේ ප්‍රෞඪත්වය විරාජමාන වන මහනුවර සෙංකඩගල සිරි දළදා වහන්සේගේ ඓතිහාසික ඇසළ සමය උදාවී ඇත.

 සකල ලෝකවාසී බොදු ජනතාවගේ අති පාරිශුද්ධ වස්තුවක් ලෙස ගෞරව පාත්‍රයට පත් ශ්‍රී දළදාව බෞද්ධ ශාසනික ඉතිහාසයේ ආර්ථික, දේශපාලන හා සමාජයීය ඒකාබද්ධතාවය එකට බැඳගත් එදා පුරනරුවන්ගේ පවා රාජ්‍ය බලය ස්ථාපිත කළ අසමසම පූජනීය වස්තුවද විය.

 සිරි දළදා වහන්සේගේ පුරාවෘත්තය අනුරාධපුර රාජධානි යුගය දක්වා පවතින්නක් බව ඈත ඉතිහාසයේ පටන් සනිටුහන් වී ඇත.

 ක්‍රි. ව. 1245 සිට 1260 අතර කාලයන්හිදී ලංකාද්වීපයේ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අභිලාශයෙන් එදැා සිට ද්‍රවිඩ නරපතියන් කළ ආක්‍රමණයන් නිසා මෙරට මුල්බැස ගෙන තිබූ බෞද්ධ බලවේගයන් සහමුලින්ම පරිහානියට පත්වූවාය.

 මේ නිසා ශත වර්ෂාධික කාලයක් බොදු වැසියන්ගේ පුද පුජාවන්ගෙන් පවා ඈත්ව තිබූ සිරි දළදාව කාලිංග දේශයේ නරපතියන් අතට පත්වෙමින් තිබිණි. මෙසේ පූජනීයත්වයෙන් ඈත් වූ සිරි දළදාව එසමයෙහි සිංහල බොදු රට වැසියන්ගේ ඉතා අවාසනාවන්ත අඳුරු කාලය ලෙස හැඳින් විණ. මේ යථෝක්ත අවාසනාවන්ත ඉරණමෙන් පූජාර්භ උතුම් සිරි දළදා වහන්සේ බේරා ගැනීම සඳහා මහසෙන් රජු කළිඟු දේශයට දූතයන් පවා යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ.

 එම දේශයේ නරපතියන් අතර ඇතිවූ අභ්‍යන්තර වියවුල් නිසා කළිඟු රජු විසින් ශ්‍රී දළදාව ආරක්‍ෂා කරනු පිණිස, හේමමාලා සහ දන්ත කුමරු අත දළදාව නැවත ලක්දිවට වැඩම කරවීය. මේ වන විට මහසෙන් රජු  මියගොස් සිය පුත් තම රාජ්‍යත්වය සංකේතවත් කිරීම පිණිස උතුම් දළදාව අනුරාධපුරයට වැඩම කළහ.

එහිදී තම රජ මාළිගාවට නුදුරින් තනන ලද ධම්මචක්කගෙහ නම්වූ මනරම් මන්දිරයක ශ්‍රී දළදාව තැන්පත් කරන ලදී.

 ශත වර්ෂාධික කාලයක් බැති පුද පූජා දැක්වීමට නොහැකිව අසරණව සිටි බොදු රටවැසියන් අකලංක ශ්‍රද්ධා භක්තිය ඇති කිරීමේ අදහසින් විහාරවාසී භික්‍ෂූන්ගේද සහාය ඇතිව නව ලක්‍ෂයක් පමණ ධන සම්භාරයක් වැයකොට දළදා පූජෝත්සවයක් පැවැත් වූ බව චූලවංශයේ සඳහන් වේ. ක්‍රි.ව. 1603 දී පළමුවන විමලධර්මසූරිය රජු විසින් උතුම් දළදාව ප්‍රථම වරට සෙංකඩගල පුරවරයට වැඩම කරවා දළදා පෙළහරක් පැවැත්වීම ආරම්භ කළේය.

 එතැන් පටන් දළදා වහන්සේ කෙරෙහි අතිමහත් ශ්‍රද්ධා භක්තියෙන් ඇළලුනු මුළුමහත් රටවැසියන් මෙය බෞද්ධ ජන ජීවිතයේ අද්විතීය ආගමික උත්සවයක් බවට පත්කර ගන්නා ලදී.

 මෙසේ එදා පටන් නොකඩවා ඉතාමත් අත්‍යාලංකෘතව ඇසළ කෙළිය ලක්දිව පැවැත්වුණු බව 5 වන ශත වර්ශයේ ලංකාවට පැමිණි පාහියන් නමැති චීන භික්‍ෂුව සිය දේශාටන වාර්තාවේ සඳහන් කළහ.

 මේ අසිරිමත් ඓතිහාසික උත්සවය එසමයෙහි රාජානුග්‍රහය ඇතිව සංස්කෘතික උළෙලක් ලෙස පැවැතීමත් සමග පොළොන්නරු යුගයේ රජදරුවන් ප්‍රමුඛ බෞද්ධ ප්‍රභූවරුන් “ශ්‍රී දළදාව” සිය රාජ්‍ය බලය සනිටුහන් කර ගැනීමට අත්‍යාවශ්‍ය පාරිශුද්ධ වස්තුවක් ලෙස සැලකූ බව ඉතිහාසයේද සඳහන් වින.

 පොලොන්නරුව ජේතවන විහාරයෙහි අදද දක්නට ලැබෙන්නේ පරාක්‍රමබාහු රජු විසින් තනවන ලද දළදා මැඳුරේ නෂ්ඨාවශේෂයන්ය. මෙසමයෙහි නිශ්ශංක මල්ලව රජු විසින් ආවේණික කලා ශිල්ප උපයෝගී කර ගනිමින් තනවන ලද “හැටදාගෙය” ද ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කළ ශාසනික සේවයක් බව වංශ කථාවන්හි ලියැවී ඇත.

 යථෝක්ත පොළොන්නරු සමය ලංකා ඉතිහාසයේ දේශපාලන සමාජයීය වශයෙන් මහත් අර්බුදකාරී යුගයක් වීමත් සමගම ශ්‍රී දළදාව ආරක්‍ෂා කර ගැනීම පිණිස යාපහුවට වැඩම කරවන ලදී.

 පඬි රජු විසින් මෙකල රට තුළ නොයෙකුත් උපද්‍රව ඇති කරමින් ශ්‍රී දළදා වහන්සේට පස්විධ වධවලින් එකක් වූ කිණිහිරක ලා තැලීමේදී දළදාව ආශ්චර්යයමත් ලෙස අතුරුදහන් වූ මොහොතේ එය ආරක්‍ෂා කර ගැනීමට ගුහසිව රජු දළදාවේ ආරක්‍ෂක තනතුරට පත් කරන ලදී.

 රාජ්‍ය වර්ෂ 1581 සිට 1593 කාලය තුළදී පළමවුවන රාජසිංහ රජු ශිව ආගම වැළඳගනිමින් වෙහෙර විහාරාරාම කඩා බිඳ ලක්දිව ශාසනික විනාශයක් සිදු කරන්නට විය. මෙහිදී ගරුතර මහා සංඝරත්නය සසුන වෙනුවෙන් පෙරට විත් ශ්‍රී දළදාව රක්‍ෂාකර ගැනීම පිණිස කන්ද උඩරටට ගෙන ගොස් පසුව දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක සඟවා රැකගත් බව දළදා සිරිතෙහි සඳහන් වේ.

 පසු කලෙක සිහසුනට පත් පළමවුවන විමලධර්ම සූරිය රජු විසින් ශ්‍රී දළදාව නැවත සෙංකඩගල පුරවරයට වැඩම කරවන ලදී. ඒ ක්‍රි. ව. 1603 දීය.

 වර්ෂ 1815 දී ලංකාද්වීපය ඉංග්‍රීසි කිරීටයට යටත්වීමෙන් පසු හෙළ රජදරුවන් සතුව චිරස්ථායි කාලයක් තිබූ පූජාර්ත ශ්‍රී දළදාව ඉංග්‍රීසි ආණ්ඩුව සතු විය. මෙය ලක් ඉතිහාසයේ අඳුරු යුගයක් හැටියට සඳහන් කළ හැකිය.

 පසුව වර්ෂ 1828 දී ලංකා ආණ්ඩුකාර ධුරයට සර් එඩ්වර්ඩ් බාන්ස් උතුමාණන් පත්වීමෙන් පසු මෙරට බුද්ධ ශාසනයේ ශ්‍රද්ධා ඇත්තාවූ උඩරට රදළවරුන් ප්‍රමුඛ සියලු රටවැසියන් විසින් එතුමාණන් වෙත කළ කාරුණික ආයාචනය හා බෞද්ධ ජනමතය හේතු කොටගෙන දස අවුරුද්දක් පුරා ඉංග්‍රීසි ආණ්ඩුව සන්තකව තිබූ උතුම්  ශ්‍රී දළදාව නැවත ලක් වැසියනට භාරවින.

මෙහිදී බි්‍රතාන්‍ය රජයේ තීරණය පරිදි රොබට් බ්‍රවුන්රින් ආණ්ඩුකාරවරයා විසින් ශ්‍රී දළදා මාළිගාව මල්වතු  අස්ගිරි ද්විපාර්ශවයට භාර කළ අතර ශ්‍රී දන්ත ධාතුව මල්වතු අස්ගිරි හා දිවවඩන නිළමේ භාරයට පවරන ලදී.

 බි්‍රතාන්‍ය රජයේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය වර්ෂ 1829 මැයි මස 29 වැනි දින මහමළුවේදී දන්ත ධාතු ප්‍රදර්ශනයක් ප්‍රථම වරට පවත්වන ලදී. බු.ව. දෙදහස් තුන්සීය දෙසැත්තෑවැන්නේ වෙසක් මස පුර පසළොස්වක පොහොය දින ශ්‍රී දළදා පෙළහරක් රාජානුග්‍රහ ඇතිව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට අවසර ලැබුණේ ඉන් පසුවය. අදත් සෙංකඩගල ඇසළ මහා පෙළහැර  ශ්‍රී දළදා සමිඳු රැගත් සධාතුක කරඬුව හස්තිරාජයෙකු පිට හිඳුවා අභිමානවත් ලෙස වීථි සංචාරය කරන්නේ එම ඓතිහාසිකත්වය යළි යළි ශ්‍රද්ධා භක්තිව සිහි ගන්වමිනි.

 ජී. ඒ. කිංස්ලි පෙරේරා

Leave a Reply

Your email address will not be published.